Tuesday, 27 December 2016

..ජු මාමා අංජු මාමා වෙයි

මා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නෙමි.

ඒ මගේ වාර්ෂික නිවාඩු සති පහ අපේ ගමේ සහ නිම්මිලා ගමේ  ගත කරන බලාපොරොත්තුවෙනි.

මේ ගමනේදී මා ලියන "සොඳුරු අතීතයට " සම්බන්ධ බොහෝ චරිත සහ ඔවුන්ගේ බිරින්දෑ වරු දුවා දරුවන් මුණ ගැසුණෙමි.
එමෙන්ම සුරංග , කල්යාන , ලොකුපුතා, දුයිෂෙන් වැනි බ්ලොග් රචකයින්ද මුණගැසුණෙමි.
සුරංග දුයිෂෙන් සහ ඔහුගේ පවුලේ අය සමග මා මුණගැසෙන්නට අපේ නිවසටම පැමිණියේය.

ඒ මා ජිවිතයේ මුහුණ දුන් සොඳුරුතම අවස්ථාවකි.
ලොකුපුතා මට ගාලු මුවදොරදී මුණගැසී රංජිත් රාජපක්ෂගේ නිවසට අවශ්‍ය ෆිලර් ලබා දුන්නේය.
ලොකුපුතා මට වඩා අවුරුදු බර ගණනකින් බාල පුතෙකි.

කලන සුපුරුදු පරිදි ඔහුගේ අහස සූරන මැදුරක සිට ( තවමත් ගොඩනැගෙමින් පවතින ) මා මුණගැසුනේ  බ්ලොග් වසන්තය සම්මාන ඵලකයද මට ලබා දෙමිනි.
මේ අපේ නෑදෑයින් නොවන එහෙත් සමීප සබඳකම් ඇති හිතවතුන්ය.

මේ අතර අපේ ... ජු මාමාගේ බිරින්දෑ  අපේ අම්මාට ඇමතුමක් ගෙන මගේ කතාවේ ඔහුගේ නම පමණක් ගමේ භාවිතා වන සත්‍ය නාමයෙන්ම සඳහන් කිරීම ගැන නෝක්කාඩු කියා තිබේ.

මා ඇය මුණගැසුණු මොහොතේද ආ ඒ බව සඳහන් කලේ
"අනිත් අය ගැන බොරුනම් දාල තියෙනවලු ඒත් ..ජු මාමාගේ නම විතරක් ඒ විදිහටම ලියලා " කියමිනි

"හරි හරි මං එයාගේ නම වෙනස් කරන්නම් කෝ. එයා තමයි මගේ වැඩ වලට  ගොඩක් සම්බන්ධ . ඒ නිසා ඒ නම නිතරම ලියවෙනවා. .


හැබැයි නැන්දා එයාගෙන් අහලා බලන්න .

ඔය ලියලා තියෙනවට වඩා ගොඩක් අකටයුතු කම් ඔය කට්ටිය කරලා තියෙනවා. "

ඒ අනුව අද සිට මගේ බ්ලොගයේ අංජු මාමා නම් චරිතය මතුවනු ඇත.

Tuesday, 6 December 2016

නමුණුකුල බාප්පා ( ලොකු අප්පා )





උදේ පාන්දරම  මගේ මොබයිල් එකට මිස් කෝල් එකක් ඇවිත් . බලනකොට අපේ ගෙදරින්

" ඒයි  දැන් ලංකාවේ වෙලාව කීයද ?

රෑ දෙකයි  වගේ නේද ?

මොකද  දන්නේ නෑ  අපේ කට්ටිය මට රින්ග් කට් එවන්නේ

කාට වත් කරදරයක් වත්ද ? "  මම නිම්මිගෙන් ඇසුවෙමි. ඇය සිටියේ මගේ  උදේ තේ එක හදමිනි.

" ලොක්කා වත් අසනීප වෙලාද දන්නේ නෑ එහෙනම් ? "

ඈ මා දෙස  ගැටළු සහගත බැල්මක් හෙළුවාය.

" කෝ දෙන්න ඔයාගේ ෆෝන් එක .

කෝකටත් මොකද කියලා බලන එක හොඳයිනේ "

මම අපේ ගෙදරට ඇමතුමක් ගත්තෙමි.

" හලෝ  අම්මා ..  මොකද මේ රෑ දෙගොඩහරියේ නැගිටලා ? කාටවත් කරදරයක් වත්ද ? "

එහා පැත්තෙන් දුරකතනයට පිළිතුරු දුන්නේ මා ඇමතු වහාම දුරකථනය ට පැමිණ සිටි අපේ අම්මා විසිනි .

" ඔව් පුතා නමුණුකුල ලොකු අප්පා නැති වෙලා  .

උණ  හැදිලා හිටියේ කිව්වා . ඊයේ රෑ හදිසියේම නැතිවුණා ලු"

අම්මා ශෝක බරිත හඬකින්  තම නැගණියගේ ස්වාමි පුරුෂයා  මියගිය බව මට සැලකර සිටියාය.

මේ ශෝකාකුල ආරංචියත් සමගම මම අවුරුදු බර ගණනක් අතීතයට ගමන් කළෙමි.

නමුණුකුල විස්තර 



අපේ අම්මාගේ ලොකුම නංගි  විවාහ වී සිටියේ නමුණුකුල සිටි තැපැල් පියුම් මහත්තයෙක් සමගයි. 

කණවැරැල්ල  උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සිටි  නමුණුකුල බාප්පා  අපේ පුංචිට වඩා අවුරුදු පහළොවක් පමණ වයසින් වැඩි කෙනෙක් බව මගේ මතකය පවසයි. 

වයස අවුරුදු දහහතරක් හෝ පහළොවක් වැනි අඩු වයසකදී  අපේ  මුත්තලා විසින් ඇය විවාහ කර දී තිබුණේ  අපේ අම්මා හා තාත්තා විවාහ වන්නටත් අවුරුදු හතර පහකට පමණ පෙර කාලයකයි.

ඉස්කෝලේ නිවාඩු කාල වලදී නමුණුකුල බාප්පලා ගෙදර යන්නට පුරුදු වී සිටි මට ඔහු තැපැල් පියුම් කෙනෙක් ලෙස සේවයට ගිය හැටි තාමත් මතකය .

කාකි කොට කලිසමක් සහ පිත්තල බොත්තම් ඇල්ලු කාකි කෝට් එකකින් සැරසෙන බාප්පා  පොලිස් කාරයින් පළඳින වර්ගයේ තඩි සපත්තු දෙකක්ද පළඳියි.

ඊට අමතරව ලොකු කාකි පාට තොප්පියක් පැලඳ  උදේ හය හය හමාර වනවිට බයිසිකලයත් රැගෙන කනවැරැල්ල බලා පිටත් වෙයි.

එසේ වැඩට පිටත් වෙන බාප්පා හවස තුන තුනහමාර පමණ වන විට නැවත නිවසට පැමිණෙන්නේ

"සුගුණෝ හරි මහන්සියි බන් ඔය කහට ඩිංගක් වක් කරලා ගනිං කෝ " කියමින් අපේ පුංචි අම්මා අමතමිනි. 




නමුණුකුල බාප්පා තද යුඇන්පී  කාරයෙක් වු අතර එය අපේ අම්මලාට ප්‍රයෝජනවත් වුයේ 1977 චන්දයෙන් පසු උදාවූ  භීම සමයේදීය .

තාත්තා සමග ශ්‍රී ලංකා රැස්වීම් වල කවි කියූ නිසා චන්දයෙන් පසු කිරඹඔයේ සිටි එක්සත් ජාතික පාක්ෂිකයින්  අපේ සමන්තව පැහැර ගෙන යන බවට තර්ජනය කර තිබිණි.

කිරඹ ඔයේ අයටත් වඩා තදබල  එක්සත් ජාතික පාක්ෂිකයෙකු වූ  නමුණුකුල බාප්පා අපේ අම්මලාගේ පිහිටට එන්නේ මේ වේලාවේදීය .

සමන්තත් අපේ ලොකු අක්කත් නමුනුකුලට  රැගෙන ගිය ඔහු  අපේ ගමේ ඔහුගේ පාක්ෂිකයින්ට  අමතක වනතෙක් ඒ දෙදෙනා ඔහුගේ නිවසේ සිට පාසැල් යැව්වේය.

නමුණුකුල නැවතී පාසැල් ගිය අක්කත් සමන්තත් බලන්න අම්මා නිතර නිතර බාප්පලා ගෙදර ගියාය.

ඒ ගිය හැම වතාවකම  බාප්පා සමන්ත ගැන අම්මා සමග ගතු කීවේය. හේතුව තද බල එක්සත් ජාතික පාක්ෂිකයෙකු ගේ නිවසේ සිටිනා අතර සමන්ත දිගටම  තාත්තලා ගේ ප්‍රගතිශීලි දේශපාලනය ගැන කතා කිරීමයි.
ඊට අමතරව  ඒ වන විට පහේ පන්තියේ සිටි අපේ අය්යා  නමුණුකුල මහා විද්‍යාලයේ ප්‍රථම වතාවට  බිත්ති පුවත් පතක් ආරම්භ කර තිබිණි.

සමන්තගේ  ලිවීමේ හැකියාව දුටු විදුහල්පති තුමා ඔහු බිත්ති පුවත් පතේ කතෘ තුමා බවටද පත් කර තිබිණි.

එක් වරක් තම දුව සහ පුතා බලන්නට නමුණුකුල ගිය අම්මා  බාප්පා ගෙන් ඔවුන්ගේ වැඩ ගැන අසා ඇත.

"අය්යා කොහොමද කොල්ලගෙයි කෙල්ලගෙයි ඉස්කෝලේ වැඩ එහෙම ? "

"කෙල්ල ගෙන් නම් කරදරයක් නෑ නංගි හැබැයි කොල්ලා නම් ගානට වැඩියි "

"ඒ කිව්වේ අය්යා ? "

"නංගි උඹේ කොල්ලා හිතන් ඉන්නේ එයා මහලොකු ලියන්නෙක් කියලා . ඔය හැමතැනම   කතුරු කතුරු ගගා ලිය ලියා ඉන්නේ "

" මම නම් දන්නා කතුරක් නෑ හැබැයි ඔහොම ගියොත් මහා අමාරුවක තමයි මෙයා වැටෙන්නේ "


එසේ කියමින් සමන්තගේ බිත්ති පුවත් පත් කලාව ඇතුළු ලිවීමට විරුද්ධව කතා කර ඇති නමුණුකුල බාප්පා එක් වරම තම කේන්තිය පිට කර ඇත්තේ

මෙයා ගේ ඉතින්


"අතන කතුරු , මෙතන  කතුරු , පුකේ කතුරු "



කියමින් අතක්  හරහට අතක් යවා " පුකේ කතුරු කොටස"  රඟ දක්වමිනි.

ගෙදර පැමිණි අම්මා ඒ රඟ දැක්වීම එලෙසම අප හට රගපා පෙන්වූ මොහොතේ මමත් චුටි නංගිත්  බඩ අල්ලාගෙන සිනාසුනෙමු.



Friday, 2 December 2016

පුංචි චන්දය



දැන් කාලේ  අපේ රටේ  චන්දයක්  තිබ්බොත් එය කුඩා යුද්ධයක  ස්වරුපය  ගන්නා බව නොරහසකි.

අපේ අම්මලා  තාත්තලා කියන්නේ 1977 ට පෙර තිබු චන්ද ව්‍යපාර ඉතා  විනෝදජනක  ඒවා වූ බවයි. 

අවාසනාවකට  මට සහ අපේ පවුලේ  සියළු  දරු දැරියන්ට මතකයේ රැඳී ඇත්තේ 1977 ජන්දය සහ ඉන් පසුව පැවති  ලාම්පු -කළගෙඩි ජන්දය වැනි යම් යම් කළබල කාරී සිදුවීම් ඇතුළත් ජන්ද ව්‍යාපාරයි.

ඔබ දැන් මා නැවතත් දේශපාලනය සම්බන්ධ ලියවිල්ලකට යොමුවනවා යැයි හිතනවා  ඇති.

 නෑ මේ කියන්න යන්නේ  අපේ සමන්ත , අක්කා , චුටි නංගි සහ මා සම්න්ධ වූ "පුංචි චන්දයක් " ගැනයි.

ඒ වනවිට  කුඩා දරුවන් වූ අප  නිවසේදී  එකිනෙකට වෙනස් ආකාරයේ සෙල්ලම් වල යෙදෙන්නෙමු. 


"ඒයි  චුටි , චුටි පුතා  වරෙල්ලා සෙල්ලම් කරන්න "

කණඩායමේ  නායකයා වූ සමන්ත අය්යා  අප සෙල්ලමට කැ ඳවුයේය.

"අද මොකක්ද අපි කරන සෙල්ලම?  "

"අපි මගුල් ගෙදරක් තියමු "  යෝජනාව  අපේ චුටි නංගි  ගෙනි.

" නෑ ඒක හරියන්නේ නෑ  ඒකට මනමාලියෙක් , මනමාලයෙක්  වගේම  අෂ්ටක  කියන්න කට්ටියත් එපැයි.

මල්කා, කළු එහෙම මෙහේ ආපු දවසක ඒ සෙල්ලම කරමු. 

අද අපි වෙන සෙල්ලමක් කරමු. "

සමන්ත  චුටි නංගි ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එය ක්‍රියාත්මක කිරීම පසුවට කල් දැම්මේය.

"ඒයි ශාන්ත   ඒක නෙවෙයි අපි අද  චන්දයක් තියමුද? "

යෝජනාව ලොකු අක්කා ගෙනි.

"අන්න හොඳයි . අපි චන්දයක් කරමු .

හරි දැන් පක්ෂ දෙකට කට්ටිය බෙදෙන්න වරෙල්ලා "

සමන්ත අය්යා අපි කට්ටිය චන්දයට සහභාගී වන පක්ෂ දෙකට වෙන් කල යුතු බව සඳහන් කළේය.

චන්ද  සෙල්ලමට  අප කණ්ඩායම් දෙකකට  බෙදිය යුතු විය.


බොහෝ විට පිරිසේ නපුරුම සහ ගණන් කාරම සාමාජිකයා වන්නේ වයෙසෙන් වැඩිම කෙනා වූ  සමන්තයි.

ඔහු අප සියළු දෙනා භය කරගෙන ඉන්නා නිසා මා බොහෝවිට සිට ගන්නේ අක්කා සමගය.

එදත් මම ඉක්මණින්ම අක්කාගේ පක්ෂයට එකතු වුයේ චුටි නංගිට විකල්ප පක්ෂයක් ඉතිරි නොකරමිනි.

ඇය වෙනදා මෙන්ම එදත් සමන්තගේ පැත්තේ කණ්ඩායමට එකතුවුවාය.

ප්‍රධාන පක්ෂ දෙක   එක්සත් මහජන පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පෙරමුණ වැනි අමුතු නම් දෙකක් ලබා දෙමින් වෙන් කෙරුවේ සමන්ත විසිනි.

ලොකු අක්කා එක්සත් මහජන පක්ෂයේ නායිකාව වුවාය . මම එම පක්ෂයේ ලේකම් තුමා වුයෙමි.

සමන්ත  පෙරමුණේ  සභාපති වූ අතර චුටි නංගි එහි ලේකම් තුමිය වුවාය.

ඉන් අනතරුව සිදු වුයේ පක්ෂ ලකුණු තෝරා ගැනීමයි.  එය පක්ෂ නායකයාට අයිති කාර්යක් බව ශ්‍රී ලංකා මහජන පෙරමුණේ සභාපති තුමා විසින් දැනුම් දුන්නා පමණි.

"අපේ පක්ෂේ ලකුණ බෝතලය " ලොකු අක්කා වහාම තම පක්ෂ ලකුණ සභාවට හෙළි කලාය.



" සමන්ත උඹලා ගේ පක්ෂේ ලකුණ මොකක්ද ? "  ඇය තම ප්‍රතිවාදියා ගෙන් විමසා සිටියාය .

"අපි තවම ලකුණක් ගැන හිතනවා . නේද ලොකු අය්යා ? "

චුටි නංගි හඬ ඉස්සර කලාය.

"හු... හු .. මෙන්න මුන්  දැන්මම පැරදිලා  . තවම තමන්ගේ පක්ෂේ ලකුණ ගැනවත් හිතලා නෑ. "

මම චන්දය ආරම්භ වන්නටත් මත්තෙන් අපේ පැත්තේ සටන් ව්‍යාපාරය පටන් ගත්තෙමි.

"අනේ පලයන් බන් යන්න . බෝතලේ දිනන්නේ කොහෙද ?

 අපි ලකුණක් හිතා ගෙන හිටියේ අපේ ලේකම් තුමියට දැනුම් දෙන්න බැරිවුණාට.

අපේ ලකුණ තමයි පනාව.

අපි පාටකුත් තේරුවා අපේ පාට නිල් "

සමන්ත මට සමච්චල් කරමින් සිය පක්ෂයේ චන්ද ලකුණ  සහ වර්ණය ජනතාව හමුවේ තැබීය.

"උඹලා එහෙමනම් කොළ පාට ගනිල්ලා " ඔහු අපේ පක්ෂයේ පාටද තීරණය කර තිබිණි.

"හා.. හා නිල් පනාව ? හරියට පල්ලැහැ පොඩි බාප්පාගේ හිල් පනාව  වගේ "

මම නැවතත් සමන්තලා ගේ චන්ද ලකුණ සමච්චලයට ලක් කෙළේ අපේ තාත්තගේ මල්ලි කට කොණකින් දානා සමච්චල් හිනාවද මතක් කරමිනි.




"හරි හරි බලමුකෝ පනාවද  බෝතලේද දිනන්නේ කියලා. නේද ලොකු අය්යා ? "

"නිල් පනාව" පක්ෂයේ ලේකම් තුමිය පක්ෂ දෙකේම  ලොක්කා වූ සමන්ත දෙස බලමින් පැවසුවාය.

ඇය කවදත් ලොක්කා සමග එකතු වුයේ ඔහුට ඇති භය වගේම ඔහු හොඳින් හෝ නරකින් සෙල්ලම් ගෙදර ජයග්‍රාහකයා වන බවද හොඳින් දන්නා නිසාය.

චන්ද සටන ඇරඹේ

මුලික පක්ෂ වැඩ වලින් පසුව එළැඹියේ චන්ද ප්‍රචාරක වැඩ පිළිවෙලයි.  පුංචි චන්දයක් වුවද මහා චන්දයකට  නොදෙවිනි පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කෙරිණි.

සුදු පාට හාෆ් ෂිට් කොළ ඉවර වෙන තෙක් නිල් පාටින්

 "පනාව දිනවමු", 

"පනාවට ජය"  

"අපි පනාවට , පනාව අපිට " වැනි සටන් පාඨ ලියවුණේ මුතු කැට වන් අකුරිනි. 

ඒ පක්ෂ නායක සමන්තගේ අත් අකුරුය.

අපේ පැත්තේ සටන් පාඨ සකස් කලේ අක්කා විසිනි 

සමන්තලාගේ මෙන් තම චන්ද ලකුණ ඉල්ලක්ක කර නොගත් ඒවා විරුද්ධ පක්ෂයේ ලකුණට මඩ ගහන වර්ගයේ ඒවා විය .

හාෆ් ෂිට් එකක්  පුරා 

"හිල් පනාව  අපට එපා "

"කුණු පනාව අපට එපා"

වැනි සටන් පාඨ ලියන ලෙස මට උපදෙස් දුන්නේ සභාපති අක්කා විසිනි.

මමත් සමන්තට නොදෙවිනි  මුතුකැට අකුරින් අපේ පක්ෂයේ පෝස්ටර ව්‍යාපාරය ආරම්භ කලෙමි.

ගෙදර එළිය පැත්තේ බිත්ති වල , කක්කුස්සියේ බිත්තිය  ආදී තැන් වල පෝස්ටර් ඇල වීම සිදු විය.

අප පෝස්ටර් ඇලවූ වහාම නිල් පක්ෂයේ කට්ටිය ඒ දෙස බලා ගෙන ගියේ අධික කෝපයකිනි.

හේතුව අප ඔවුන්ගේ චන්ද ලකුණ අපහාසයට ලක් කිරීමයි .

අක්කත් මමත් අපේ පක්ෂ කාර්යාලය ( ලොකු කනප්පුව උඩින් රෙද්දක් දමා සකස් කල )  අසලට වී සිටිද්දී කෝපයට පත් අනෙක් පක්ෂයේ අය  වහ වහා පෝස්ටර් අඳිනු පෙනුණි. 

සුළු මොහතකින් දෙවන වටයේ පෝස්ටර් ව්‍යාපාරය ඇරඹුණේ තරමක් සැර බර සටන් පාඨ වලිනි.

ඉන් මගේ සිත්ගත් සටන් පාටයක් වුයේ සමන්ත විසින් නිර්මාණය කල  බෝතලයක් ඇඳ ඒ වටා  

"බෝතලයට ගූ  පුරවමු "

යන ආකර්ශනීය චන්ද පෝස්ටරයේ වූ සටන් පාඨ යයි.

පෝස්ටර් බලමින්  යන අතරේ මේ දුටු සභාපති අක්කා වහ වහා අපේ කනප්පු කාර්යාලය වෙත දුව ගියාය.

මම ලියන්නටත් පෙර කොලපාට පැලැටිග් නම් එක අතට ගත් ඈ පොල්ගෙඩි අකුරින්  හාෆ් ෂිට් ගණනාවකම  තම පිළිතුරු පෝස්ටරය ඇන්දාය.

බෝතල් සටන් පාඨය මෙන්ම ආකර්ශනිය වූ එම පෝස්ටරයේ ලියා තිබුනේ 

"පනාව කක්කුස්සියට දමමු "  කියාය. 

පනාවේ සහ බෝතලයේ ගුණ අගුණ විස්තර කරමින් රැස් වීම් කිහිපයක් ද මේ වන විට පැවැත් වී තිබුණි.

එහෙත් වලියට බර පෝස්ටර් ව්‍යාපාරය නිසා  චන්දය පවත්වන්නත් පෙර උදා වුයේ චන්ද ගැටුම් ව්‍යාපාරයයි .

කුස්සිය පැත්තේ අගුව දෙසට ගිය අපේ පක්ෂ සාමාජිකයින් බිත්තිය මුල්ලට වී සැඟවී සිටියේ අනෙක් පක්ෂයේ අයට පහර දීමටයි.

සැඟවී සිට පහර දීමෙන් ආරම්භ වූ චන්ද ගැටුම් උත්සන්න වීම නිසා සෙල්ලම් කිරීම නවතා  පැනයාමට මුලින්ම තීරණය කලේ චුටි නංගි විසිණි.

දෙවනුව සමන්තත් ඉවත් වීමත් සමග පුංචි චන්දයේ වැඩ කටයුතු නිමාවට පත් විය. 


Tuesday, 15 November 2016

ලලිත කලා සහ කලාත්මක වෛද්‍ය ශිෂ්‍යයා






මේ සිද්ධිය සිදුවුණේ  මම නුවරට ඇවිත් මාස කිහිපයක් ඇතුළත.

ඒ වනවිට මම කඩුගන්නාව පාරෙන් කුලියට ගෙයක්  හොයාගෙන ගතවී තිබුනේ  දින කිහිපයක් පමණයි.

 එමෙන්ම මා නැවතී සිටි නිවසේ සරප් මහතා හා සාකච්චා කර ගත් පරිදි ප්‍රධාන පාර අයිනේ කඩයක උඩ තට්ටුව  මගේ පුද්ගලික බෙහෙත් ශාලාව ආරම්භ කරන තැන ලෙස තෝරාගෙනයි හිටියේ.

බෙහෙත් ශාලාවට ලැබුණු ගොඩනැගිල්ල අළුතින්ම සදා කළු පැහැති දිග විදුරු දැමු ලස්සන තැනක්.

ඒ නිසාම වෙන්න ඇති අයිතිකාර මුදලාලි මගෙන් මාසික කුලිය විදිහට රුපියල් 3500ක් අය කරන්න තීරණය කලෙත්.

පොලේ ඉදිරි වැඩ කටුයුතු ගැන සාකච්චා කරන්න මම දවසක් මා සිටි නිවසේ උඩ තට්ටුවට  පිය මැන්නා .

"තාත්තේ  මෙන්න ඩොක්ටර් අය්යා ඇවිත් " සුනන්ද මහත්තයා ( සරප් මහතා ) ගේ පොඩි දුව මා පැමිණි බව ඔහුට දැනුම් දුන්නා.

" ආ.. එන්ට ඩොක්ටර් වාඩි වෙන්න . කොහොමද අලුත් ගොඩනැගිල්ල බලන්ට ගියාද ? "

"ඔව් ඔව් සුනන්ද මහත්තයා.  ඒ ගැන කතා කරගන්නත් තමයි මම මේ ආවේ "

" ඒ කිව්වේ ඩොක්ටර් ? තැන හරි නැද්ද ? "

" නෑ .. නෑ තැන හොඳයි . ඒකෙ පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න "

"පළවෙනි එක ඒ කාමරේ පාටිෂන් කර ගන්න ඕනේ.  මම ඉන්න තැනයි . ලෙඩ්ඩු බලන තැනයි වෙන් කරලා .

තව එකක් බිල්ඩිමට වතුර සප්ලයි එක තිබ්බට  මගේ කාමරේට සින්ක් එකක් නෑ ඒක හදා ගන්න ඕනේ"

"හරි ඩොක්ටර් මට මතක් වුණා .

ඕකට හරියනම මනුස්සයා තමයි අර කැම්පස් එකේ වැඩ කරන සෝමදාස වඩු බාසුන්නැහැ.

අපි මිනිහට කියමු එයා ඔය වැඩ ටික කරලා දෙයි.  ඩොක්ටර් කැමති නම් මම කතා කරන්නම් . "

සුනන්ද මහත්තයා මා වෙනුවෙන් ඒ ගණුදෙනුව කතා කර ගන්නට පොරුන්දුවිය.



"ඒක නෙවෙයි ඩොක්ටර් ඕකට ලස්සන බෝඩ් එකකුත් දාන්න වෙයි නේද ?

සුදුපාට එළිය පෙට්ටියක් වගේ බෝඩ් එකක් දැම්මා නම් ඈතට පෙනෙන විදිහට ? "

සුනන්ද මහත්තයා මා කතා කරන්නට පැමිණි අනික් කාරණය මටත් කලින්ම  සාකච්චා මේසයට ගෙනාවේය.

"ඔව් ඔව් මමත් ඔය ගැන හිතුවා .  බෝඩ් අඳින්න හොඳ තැනක් හොයාගන්න ඕනේ .

මම අද හවස කිරිබත්කුඹුරේ ගියාම දුමි අය්යා ගෙන් අහන්නම් මිනිහා දන්නවා ඇති"

'ඩොක්ටර් නමක් එහෙම හිතලද තියෙන්නේ ? "

" ඔව් ඔව් මම හිතුවා  Family Care Medical Center  නම දාන්න  .ඒක හොඳයි නේද ? "











"හොඳයි හොඳයි ඩොක්ටර් එහෙනම් මෙහෙම කරමු .

මම සෝමදාස බාස් එක්ක  කාමරේ පිළිවෙලක් කරන එක කතා කරන්නම් ඩොක්ටර් බෝඩ් එකේ වැඩේ බලන්නකෝ "

ඒ අනුව සුනන්ද මහත්තයා මගේ පොල අලංකාර කිරීමේ ගණුදෙනුව සෝමාදාස බාසුන්නැහැට භාර දී තිබුනේ රුපියල් දහදාහකටය.

ඒ ගාස්තුවට   හාර්ඩ් බෝර්ඩ් ගසා කාමරය පාටිෂන් කිරීමත් , කොලපාට තිර දමා එය අලංකාර කිරීමත් , අත් සේදීමට සින්ක් එකක් සහ ලෙඩ බැලීමට ලෙඩ ඇඳක් සකස් කිරීමත් ඇතුලත් විය .

අනෙකුත් අවශ්‍ය උපකරණ වූ  වෛද්‍යවරයාගේ මේසය සහ හාන්සි පුටුව මම   නුවර ගෘහ භාණ්ඩ කඩයකින් මිලදී  ගත්තෙමි.

ලලිත කලා  කලා ආයතනය

සුනන්ද මහත්තයා  සමග කතිකා කරගත් පරිදිම බෝඩ් ඇඳීම ගැන විමසන්නට මම දුමි අය්යා හමු වුනෙමි.

"ආ මල්ලි කොහොමද ?  කාලෙකින් ?  උඹලට අලුත් තැන් හම්බ වුණාම අපි අමතකයි ආ ? "

දුමියා පුරුදු භාෂාවෙන් මා ඇමතුවේ වින්කලයේ වැඩ මදකට නවතා  රෙදි කඩ මාල්ලකින් අත පිහින ගමන්මය. 

" නෑ දුමි අය්යා කැම්පස් එකේ වැඩයි   අලුත් ප්‍රයිවෙට් එක පටන් ගන්න එකේ වැඩයි නිසා මේ පැත්තේ එන්න වෙලාවක් වුනේ නෑ "

" කොහොමද උඹ දැන් පොළ පටන් ගත්තද මචං ? 

ඔන්න පටන් ගත්තු ගමන් කියන්ට ඕනෑ.

අපිත් එනවා පොඩි උන් දෙන්නට එහෙම උඹෙන් බෙහෙත් ගන්ට ඈ "

"හරි හරි ඒවා බැරියැ පස්සේ ඉස්සෙල්ලා මට බෝඩ් එකක් ඇඳ ගන්ඩ තැනක් කියපන්කෝ ? "

මම දුමි අය්යාට මා ඔහු හමුවීමට පැමිණි කාරණය පැහැදිලි කලෙමි. 

" මල්ලි ඔය කිරිබත්කුඹුරේ හන්දියේම ලලිතකලා කියලා බෝඩ් එකක් ගහලා පොඩි කඩයක් තියෙනවා උඹට මතකද? "

" ඔව් ඔව් අර බස් හෝල්ට් එකට පොඩ්ඩක් උඩහින් තියෙන්නේ ?"

"ඔතන ඉන්න පොර බෝඩ් අඳිනවා මචං . හැබැයි පොර ගෑණිට බයයි  ගෑණි හා කිව්වොත් තමයි මෑන් වැඩේ බාර ගන්නේ "

" ඉතිං අය්යා මම ගෑණි තියා මිනිහා වත් අඳුරන්නේ නෑ නේ ? "

" හරි හරි හිටපන්කෝ ඉතිං කියනකන්  පනින්නේ නැතිව . 

මම උඹත් එක්ක ඇවිල්ලා කට්ටිය අඳුන්වලා දෙන්නම් . හැබැයි ඉතිරි හරිය උඹට කරගන්න  වෙයි මස්සිනා "

දුමි අය්යා කියාගෙන ගියේ නියම වින්කල් බාස් කෙනෙක්ගේ භාෂාවෙනි. 

"මල්ලි මෙන්න මේක පොඩ්ඩක් බලා ගනින් අපි ලලිතකලා ලගේ ගෙදරට ගිහින් එනකං " දුමියා වින්කලේ සිටි කොලුවෙකුට පැවසුවේ ඔහුගේ යමහා සුපර් කබ් එකට නගින ගමන්මය.

දුමියා ගේ බයික් එකේ පිටිපස්සේ එල්ලුණු මම ඔහුත් සමග කිරිබත්කුඹුර හංදියට ගියෙමි.

" ගෙදර කවුද ? ගෙදර කවුද ? "

කොළඹ- නුවර පාරේ  තිබු ලලිතකලා ගෙදර/කඩේ දොර ලෑලි දෙකක් ඉවත් කල තැනින් ඔලුව දැමු දුමි අය්යා නිවැසියන් ඇමතුවේය.

" ආ මම මේ කවුද බැලුවා දුමින්ද මල්ලිනේ එන්න එන්න "

"කෝ අය්යා ? "

එයා අන්න පිටිපස්සේ බෝඩ් වගයක් අඳිනවා .

"මේ මගේ යාළු දොස්තර මහත්තයෙක් එයත් ලයනල් අය්යාට කියලා බෝඩ් එකක් හදව ගන්න ආවේ "

දුමි ගෙදර ගෘහ මුලිකාවට මා හඳුන්වා දුන්නේය.

"එන්න මහත්තයා වාඩි වෙන්න මං ලයනල් ට එන්ට කියන්නම් "

" නෑ නෑ ඕනේ නෑ එයා වැඩ කරන තැනට අපි එන්නම් කෝ " කියමින් මම බෝඩ් අඳින්නා සිටි ඇතුල් කාමරය දෙසට පිය මැන්නෙමි .

ඉරි ඉරි සරමක් හැඳ ගත්  කුඩා මිනිසෙක් බිම දන ගසාගෙන ලොකු නාම පුවරුවක් අඳිමින් සිටියි.

දුමි අය්යා ලයනල් ට අප පැමිණි කාරණය කියන්නට විය .

"මේකයි අය්යා ඩොක්ටර් ට ඕනේ කියන්නේ අර ටියුබ් ලයිට් දෙකක් ඇතුලට දාලා හදන ලස්සන සුදුපාට බෝර්ඩ් එකක් .

සයිඩ් එකෙනුත් පොඩි එකක් එල්ලන්න පුළුවන් නම් හොඳයි නේද මල්ලි ? "

යැයි ඔහු මා ගෙන් විමසුවේ පාරේ ඈතට පෙනෙන්නට එල්ලන දැන්වීම් පුවරුවක් ගැනයි.

අවසානයේ  එලෙස බෝඩ් දෙකක් සකස් කරදෙන ලෙස ලලිතකලා ට ඕඩරයක් භාර දුන්නෙමු.



ඒ අතර මා නෙත ගැටුනේ  කාමරයේ අනෙක් කොණේ  ලයනල්ට උදව්වට බෝඩ් අඳිනා තරුණ කොළු ගැටයෙකි.

ඔහු සිටියේ බිම බලාගත් වනම නිසා මුහුණුවර හරියට පෙනුණේ නැත.

"ලයනල්ට උදව්වට කෙනෙකුත් ඉන්නවා වගේ ? "

කියමින් මම  නිහැඬියාව බින්දේ තරුණයාගේ මුහුණ බලා ගන්නට අවශ්‍ය වූ නිසයි .

බොකුටු හිසකෙස් සහිත ඒ හීන්දෑරි  කොළු ගැටයා මගේ ගැටයට අසුවුයේ එක් වරම හිස ඔසවා බැලිය.

"සර්"

"ආ ඔයා කොහෙද මෙහේ ? ඔයා අපේ ෆස්ට් ඉයර් එකේ ස්ටුඩන්ට් කෙනෙක් නේද? "

තරුණයා හඳුනාගත් මම විමතියට පත්වුනෙමි.

"ඔව් සර්  මගේ ගෙවල් නම් මෙහේ නෙවෙයි ගම්පොළ  .

හවසට හවසට පොඩි පාර්ට් ටයිම් එකක් කරනවා සර්  ලයනල් අංකල් ට උදව් කරනවට මට පොඩි ගෙවීමක් කරනවා "

ඔහු ලලිතකලා ළඟ කලා කරුවෙක් ලෙස අතිරේක රැකියාවක් කරනා බව මා සමග පැවසිය.

හොඳයි හොඳයි එහෙනම් අංකල් එක්ක එකතුවෙලා මගේ වැඩේ කරලා දෙන්නකෝ .

කියමින් මා  එතනින් සමුගත්තේ මගේ ශිෂ්‍යයෙක්  ලලිතකලා ළඟ වැඩ කරන බව දුමිටද ඒත්තු ගන්වමිනි.

ගුරු ගෝල ගණුදෙනු

පසුදා විශ්ව විද්‍යාලයට ගිය මා වෙනදාට වඩා උවමනාවෙන් සිසුන් දෙස බැලුවා කිවොත් නිවැරදිය .

 ඒ ගම්පොළ පැත්තේ සිට එන බොකුටු කොණ්ඩයක් ඇති උස කෙට්ටු සිසුවා සොයා ගන්නා  අරමුණ ඇතිවයි.

උදේ වරුවම ගතවුයේ මගේ උත්සාහයේ කිසිදු ප්‍රතිඵලයක් නැතිවයි. 

වැඩේ හරියන පාටක් නැතිබව දැනගත් මම මගේ හිතවතා ප්‍රේමදාස ගේ සහය පතන්නට තීරණය කලෙමි.

ප්‍රේමදාසත් වැඩට එන්නේ ගම්පොළ පැත්තේ සිට නිසා වැඩේ සාර්ථක විය හැකිය.

"ප්‍රේමේ මෙහේ එනවකෝ ? "

"ඇයි සර් හදිස්සියක්ද? "

" නෑ නෑ මට ස්ටුඩන්ට් මහත්තයෙක් හොයා ගන්න ඕනේ "

" සර් අර කාර් විකුණන මහත්තයද ? එයා නම් නිතරම කැම්පස් එන්නේ නෑනේ " 

" නෑ නෑ අයිසේ මම නම නම් දන්නේ නෑ.

 ගම්පොළ පැත්තේ ඉඳලා එන්නේ උස සුදු කොන්ඩේ පොකුටු ස්ටුඩන්ට් කෙනෙක් , ෆස්ට් ඉයර් එකේ ඉන්නවා කිව්වේ ."

හරි සර් අද හවස ප්‍රැක්ටිකල් එක තියෙනවා නේ එකේදී බලමු මම සර්ට පෙන්නන්නම් කෝ ගම්පොළ ඉදන් එන මහත්තුරු ටික "

අන්න හරි තමුසේ එනවා අද ප්‍රැක්ටිකල් එකට අපි එකතුවෙලා හොයමු මෑන්ස් ව ."

දිවආහාරය ගත් මම  ප්‍රායෝගික පංති තිබෙන ගොඩනැගිල්ල වෙත පියමැන්නෙමි. කතා කරගත් පරිදි ප්‍රේමදාසද  ඒ පැත්තේ කැරකෙමින් සිටිනු දුටුවෙමි.

"සර් සර් අර මහත්තයද බලන්න "

ප්‍රේමදාස මට අවශ්‍ය පුද්ගලයා යැයි කිව හැකි ශිෂ්‍යයෙක් වෙත මගේ අවධානය යොමු කළේය.

"ඔව් ඔව් මට හිතෙන්නේ මෑන්ස් තමයි . ප්‍රේමේ ගිහිල්ලා ඒ සර්ව මෙහාට එක්කං එන්නකෝ "

"කවිඳු සර් මට කතා කලාද? "

" කොහොමද ඔයා නේද ඊයේ කිරිබත්කුඹුරෙදි මට මුණ ගැහුණේ ?"

"ලලිතකලා එකේදී නේද සර් ?  ඔව් මම තමයි ."

" ඔයා එතන වැඩ කරනවට හොඳට ගෙවනවද ? "

"පොඩි ගාණක් දෙනවා සර් . එදිනෙදා වියදමට ඇති ඉතිං "

"ඒක නෙවෙයි . ඔයා තනියෙන් වැඩ භාර ගන්නේ නැද්ද ? 

මගේ ප්‍රයිවෙට් එකේ විදුරුවල අකුරු ලියන්න වැඩකුත් තියෙනවා "

"නෑ සර් දැනට නම් ලයනල් අංකල් ගේ වැඩ වලට උදව් වෙන එක තමයි කරන්නේ "

"හරි ළමයා ලයනල්ට දෙන මුළු ගානම මම ඔයට දෙන්නම්.

 ඇවිල්ලා මගේ පොලේ ලේ මුත්‍රා පරික්ෂා කරනවා, ඊ සී ජී කරනවා  එහෙම කියලා අකුරු ටිකක් වීදුරුවේ ගහනවා "

එහෙනම් අද හවසට එනවද තැන බලන්න. ඊට පස්සේ මම ඔයාට වැඩේ භාර දෙන්නම්."

ඒ අනුව ලොකු බෝර්ඩ් දෙක ලලිත කලාට  භාරදුන් මා ඉතිරි වැඩ ටික මගේ ශිෂ්‍ය යාට කෙලින්ම භාර දුන්නෙමි. 

එදින හවස  මා කුලියට ගත් අළුත් බිල්ඩිමට පැමිණි ඔහු දින කිහිපයක් තුල 

" ලේ සහ මුත්‍රා පරික්ෂා කරනු ලැබේ ",  

"නෙබියුල්යිස්ර් ප්‍රතිකාර , රුධිර සීනි පරික්ෂාව , පවුල්සැලසුම් එන්නත් " 

කරනු ලැබේ වැනි   වාක්‍ය  රාශියක් පාරට පෙනෙන ලෙස කළු විදුරු මත ඇන්දේය. 

මා  ඊට අදාළ මුදල් මා අතින් කෙලින්ම ඔහුවෙත ලබාදුන්නේ  ලලිතකලා අයකරනු ලබන කොටසද ඔහුටම ලබා ගන්නට ඉඩ සලසාදෙමිනි. 






Friday, 11 November 2016

මයි කාර් මයි පැට්‍රොල්







"මයි කාර් මයි පැට්‍රොල්"  යන යෙදුම මා මුලින්ම පාවිච්චි කලේ අපේ අම්මාගේ පොඩි මල්ලී ( අංජු මාමා ) සමග ඇතිවූ ආවේගශීලී කතා බහකදීය.

ඒ අපි දෙන්නා තුන් හවුලේ අම්මා සමග එළවලු හදද්දී මට කේන්ති ගිය මොහොතකයි.

ඒත් අද මේ කියන්නට යන කතාව මට කේන්ති ගිය අවස්ථාවකටත් වඩා මට මා ගැනම අනුකම්පාවක් ඇති වූ අවස්ථාවක් හා සම්බන්ධය.

මේ වන විට මම  මගේඒ  පළමු කාර් එක ලෙස මීගමුවෙන් රැගෙන ආ ටොයෝටා කරීනා එකක් පාවිච්චි කරමින් සිටියෙමි.

මතුපිටින් සහ එහි තිබු ආසන වල පෙනුමින් ඉතා සිත් ඇදගන්නා සුළු වූ එය මට රැගෙන දුන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩ කල කාර් බ්‍රෝකර් කෙනෙකි.

සිසිල් නම් වූ ඔහු  ඒ වනවිට කෘෂිකර්ම පීටයේ කාර්මික නිලධාරියෙක් ලෙස සේවය කළේය. සිසිල් හින්නි අප්පු හාමිගේද  ගජ මිතුරෙකි.

සිසිල් මට හඳුන්වා දුන්නේද ඒ වනවිට  මගේ  ඩිස්පන්සරියෙන්  බෙහෙත්  ගත් කෙනෙකු වූ හින්නි අප්පුහාමි විසින්මය.

කරීනා එක බලන්න ගිය කතාව ද ඉතා රසවත් එකකි. ඒ වන විට පේරාදෙණිය, නුවර අවට කාර් ගණනාවක්ම බලා හෙම්බත් වී සිටි මම ඕනෑම කාර් එකක් මිලදී ගන්නා තත්වයක සිටියෙමි.

කාර් විකුණන දොස්තර මල්ලී ළඟ තිබු ට්‍රැඩ් සනිය හැරෙන්නට අනික් හැම කාර් එකක්ම හින්නි කියූ පරිදි බලන්නට ගියෙමි.

එහෙත් ඒ එකක් වත් මගේ හිතට ඇල්ලුවේ නැති නිසා ඒ වනවිටත් මා වැඩට ගියේ පාරේ බස් එකේමය.

මගේ පළමු කාර් එක



එදා ඉරිදා දිනයකි . උදේ පාන්දර නිසා  මා සිටියේ මගේ  පුද්ගලික බෙහෙත් ශාලාවේය.

ඉදිරිපස පිහිටි පාරේ අයින් කර නැවැත්වූ  අළුතින් වැඩ දැමු පැරණි බෙන්ස්කාර් එකකි.







එහි අයිතිකරු වුයේ  හින්නිගේ යාලුවා සිසිල් ය.

කඩිමුඩියේ  මගේ පොලේ පඩිපෙළ නැගී සිසිල්  මා සිටි  මේසය ලඟට ආවේ.

"මේක හරියන්නේ නෑ ඩොක්ටර් . නුවරින් කාර් හොයන්න බෑ "  කියාගෙනයි.

"ඉතින් අපි මොකද කරන්නේ සිසිල් තව ටිකක් බලමු නේද ? " මම පිළිතුරු දුන්නේ ටික කලක් බස් වල ම ගමන් කර අතේ ඇති මුදල වැඩි කරගත හොත් හොඳ කාර් එකකට යා හැකි යැයි සිතමිනි.

"අපි යමු ඩොක්ටර් පල්ලැහැ පැත්තේ . හොඳ මරුටියක් තියෙනව කිව්වා තුනකට ගන්න පුළුවන් වගේ "

"පල්ලැහැ කිව්වේ කොළඹද? "

"නෑ නෑ  මීගමුවේ . යන අතරමගත් වාහන බලන්න පුළුවන් නේ  . හිතට අල්ලන එකක් ආවොත් ගමු "

"කවදද යන්නේ? "

"මේ දැන්  ඩොක්ටර් මම ආවේ ඩොක්ටර් එක්කන් යන්න "

"මගේ කාර් එකේම යමු. හින්නිත් එනවා අපිත් එක්ක "

"එතකොට  දිස්පෙන්සරිය? "

"හවස් වෙනකොට ආපහු ආවහැකි ඩොක්ටර් . වැඩේ හරිගියොත් අලුත් කාර් එකකුත් අරගෙනම "

මම මදක් කල්පනාවට වැටුනෙමි. බ්‍රෝකර් ලා දෙදෙනක් සහ මා පමණක් ගොස් කාර් බැලීමෙන් මට ආවසියක් විය හැකිය.

ඈනටමි එකේ මගේ හිතවත්  මල්ලී කෙනක් (ඩිමෝ කෙනෙක් ) වත් එක්කගෙන යායුතුය.

ඒ අදහස ඇතිව සිසිල්ට අනුමැතිය දුන්නේ " සිසිල් මගේ යාලුවෙක් ඉන්නවා කිරිබත්කුඹුරේ එයත් දාගෙනම යමු" කියමිනි.

එවෙලේම සුසන්ත මල්ලී  ( අපේ දෙපාර්තමේන්තුවේ  හිටපු ඩිමෝ කෙනෙක් ) ඇමතු මම ඔහුද ගමනට ගෙන්වා ගත්තෙමි.

මීගමුවට ළඟාවූ අපට සිසිල් විසින් මුලින්ම මරුටියත් තවත් කාර් කිහිපයකුත් පෙන්නුවා මතකය.

මා වගේම සුසන්ත මල්ලිත් ඒවා ගැන විශේෂ කැමැත්තක් පෙන්නුවේ නැත.

විශේෂයෙන් මරුටිය  ඉතා කුඩා වීම අපි දෙදෙනාම නිරීක්ෂණය කර තිබු  දෙයකි.

මෙසේ කාර් බලමින් සිටි  අප අවසානයට රැගෙන ගියේ  මීගමුව කොළඹ පාර අයිනේ තිබු සුවිශාල නිවසක් වෙතයි.

එහි ගරාජයේ නවතා තිබු සුදු පාට ටොයෝටා කරීනා එක  මටත් වඩා සුසන්තගේ සිත් ගත් බව පෙනෙන්නට තිබුණි.


සුදු පාට කාර් එකේ ලා නිල් පැහැති ෂීට් කවර දමා තිබු කාර් ෂීට් එයට අමුතු එළියක් ලබා දී තිබිණි.

ගෙදර සිටි ගෘහණිය කාර් එකට අඩුම ගානේ දෙකයි හැටක් වත් අවශ්‍ය බව කියා සිටියාය.

තුනක් වැය කර මරුටියක් ගන්නට පැමිණි අප දෙකයි හැටකට විශාල එමෙන්ම සිත් ඇද ගන්නා සුළු වාහනයක් ලැබීම ගැන සතුටින් සිටියෙමු.


ඒ නිසාම දෝ  කරීනා එක දුටු සුසන්ත

"අය්යා තුනක් දීලා අර හුන්ඩුවක් ගන්න වෙලාවේ දෙකයි හැටකට මේක ගන්න තියෙන්නේ .

අඩුම ගානේ පෙනුම වත් තියෙනවා " යැයි කරීනා එක ගැනීම  හොඳ බව මට පැහැදිලි කළේය.




අපේ අදහස සිසිල්ට සැල කර සිටීමෙන් පසු . රුපියල් පනස් දහසක අත්තිකාරම් මුදලක් දී එදාම වාහනය රැගෙන යෑමට හිමිකාරිය එකඟ කරවා ගැනිණි.

සිසිල් සහ සුසන්ත පරණ බෙන්ස් ඒකෙත් හින්නි සහ මම අලුත් කරීනා ඒකෙත් නුවර බලා පිටත් වුයේ මගේ අලුත් කරීනා එකත් සමගයි.

මිගමු කාර් සහ නුවර පැට්‍රොල් 




කරීනා එක ඇතුළට ගොඩවූ විට ඇත්තටම  භාවනක් තුලට වැඩියා වැනි හැඟීමක් දැනෙන්නට විය.  සුසන්ත මෙන්ම මා ද අලුත් වාහනය ගැන බෙහෙවින් සතුටු වූයෙමු.

ගෙදර අයිති කාර සරප් මහත්තයාද ( ඔහු සුස්නත මල්ලිගේ මාමා කෙනෙකි )  අලුත් කාර් එක ගැන ඉතා සතුටින් කතා කළේය.

වෙනෙකක් තබා එක් සෙනසුරාදා දිනක මා සහ නිම්මි රැගෙන අළුත් නුවර දේවාලයට ගිය සරප් මහතා මගේ 
කාර් එකේ යතුර ගම්බාර දෙවියන්ගේ රත්රන් පිළිමය ඉදිරිපට තබා ආශීර්වාද ලබා දෙන්නටද ඉදිරිපත් වුවේය.

ඒ වන විට මගේ  පෙම්වතිය වූ නිම්මිද අලුත් කාර් එකට බෙහෙවින් ප්‍රිය කළාය.  ඇය රැගෙන නුවර මහා රෝහල වෙත යන්නටද මම කරීනා එක යොදා ගත්තෙමි. 

ටික දවසක් වාහනය එලවද්දී එහි ගුණදොස් එකින් එක මතු වන්නට වුයේ  අප කාට කාටත් නොදැනීමය.

කරීනා එක 1.6 එන්ජින් එකක් නිසාදෝ  පැට්‍රොල් බොන වාහනයක් බව මට පෙනී යන්නට විය . 

එය AC එහෙම දමාගෙන ගමන් ගනිද්දී ලීටරයකට යාහැකි දුර වුයේ කිලෝමිටර් පහක් පමණි.

අරලගන්විල අපේ නිවසට ගොස් එන්නට මට රුපියල් තුන්හාරදාහක ( 2000 වසරේදී ) පැට්‍රොල් පුච්චන්නට සිදු විය.

අලුත් කාර් එකෙන් අරලගංවිල ගිය මුල්ම දවසේ මගේ තනියට සරප් මහතාගේ ලොකුපුතා ( ඒ වනවිට අවුරුදු 14 කැ කොලුගැටයෙක්) ද එවන්නට තරම් සරප් මහතා කාරුණික විය.

අපේ ගෙදර තිබු ජාම් පේර, ඇඹුල් පේර , පෙයාස් , පිච්ස් වැනි පළතුරු වලට වහවැටුණු ඔහු "ඩොක්ටර් අය්යලා ගෙදර" නිතරම එන්නට කැමැත්තක් දැක්වූ බව නොරහසකි. 

ගමේ පැමිණි මා කාර් එක රාත්‍රියට නතර කර තැබුවේ  දියකඩිත්ත ළඟ ගෙදර සෝමසුන්දර බාප්පලා ගෙදරයි. 

හේතුව ඒ වනවිට අපේ මහා ගෙදරට වාහන ගන්න පාරක් නොතිබීමයි ( පසු කලෙක අය්යාගේ සහ මගේ උදව්වෙන් නිවසටම වාහන ගන්නට හැකි පාරක් සකස් කර ගන්නට අපේ තාත්තා සමත් වුයේය ) 

රෑ කාලයේ තම මිදුලේ තිබු ලස්සන සුදු පාට කාර් එක සෝමසුන්දර බාප්පගේද සිත් ගත් බව පෙනෙන්නට තිබිණි.

පසුදා පාන්දර නැවත නුවර බලා යන්නට සුදානම් ව ඔහුගේ නිවසට ගිය මට දක්නට ලැබුනේ යහමින් වතුර සහ  සබන් යොදා දුවිලි පොදක් වත් නැති වන්නට සෝදා තිබු කරීනා එකකි.

සෝමසුන්දර බාප්පා තම මිදුලේ නවතා තිබු මගේ වාහනය ස්වේච්චාවෙන්ම  සෝදා පවිත්‍ර කර තිබීම ඊට හේතුවයි. 

කාර් එකේ යතුර මා රැගෙන ගිය බැවින් කාර් එකේ අතුල පිරිසිදු කරන්නට බැරිවූ බවටද ඔහු මැසිවිලි නැගු හැටි මට තාමත් මතකය.

සතියක් දෙකක් කාර් එක පාවිච්චි කරද්දී තවත් ලෙඩක් මතුවන්නට විය . ඒ කාර් එකේ ක්ලච් ඔයිල් ඉතා සීග්‍රයෙන් අවසන් වීමයි.

දවසක්මේ  බව හින්නි මහත්තයාට  පැවසුවෙමි. කල්ච් ඔයිල් එකක් ගෙනැත් තබාගෙන අඩුවෙන වාරයක් පාසා ධාවනය කරන ලෙස උපදෙස් ලැබිණි.

මේ අතර අලුත් කාර් එක සර්විස් කල යුතුයැයි තාත්තා ගෙන් උපදෙසක් ලැබිණි.  

පේරාදෙණියේ තිබු ප්‍රසිද්ධ සර්විස් කරන තැනකට වාහනය දැම්මේ හොඳ සර්විස් එකක් කර දෙන ලෙස ඉල්ලීමක් කරමිනි.

සර්විස් කල ගෝලයා කැම්පස් එකේ රියදුරු මහතුන් දන්නා කෙනෙකි. ඔහු මගේ කරීනා එක හොඳ හැටි පිරිසිදු කර දුන්නා මතකය.

ඒ සර්විස් එකෙන් පසුවත්  සෝමසුන්දර බාප්පා ගේ ගෙදර සර්විස් එකෙන් පසුවත් රියදුරු අසුන ළඟ කාප්ර්ට් එකෙන් කකුලට තෙත් ගතියක් දැනුන බව මට මතකය.

වාහනේ හොදද්දී වතුර ටිකක් යන්න ඇති

යැයි සිතු මා ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුයේ නැත. 

එහෙත් තද වැසි දිනක වාහනය පදවද්දී නැවතත් මගේ රියදුරු අසුන ළඟ හොඳටම තෙත්වී තිබෙනු දක්නට ලැබිණි.

දැන් මේ කාර් තෙත්වීම මට ලොකු ප්‍රෙහේලිකාවකි.  දවසක් මේ බව කැම්පස් එකේ යාළුවන්ට පැවසුවෙමි. 

මගේ කතාව  අසා සිටි එක් අයෙක් ( සංජිව නම් කථිකාචාර්ය වරයා ) ඔහුගේ කාර් එක ලඟදි ටින්කරින් කල බවත් ඒ ටින්කරින් කරන ඔහුගේ නෑදෑ අය්යාට වාහනය පෙන්වන ලෙසත් මට උපදෙස් දුන්නේය.

වාහනය සන්ජිවගේ අය්යා ලඟට ගෙන ගිය සැණින් ඔහු රෝගය හඳුනා ගත්තේය.

කරීනා එකේ ඉස්සරහ පැත්තේ තට්ටුව සම්පුර්ණයෙන්ම දිරා ගොස් ඇති බවත් රියදුරු අසුන පැත්තේ  කාපට් එක ඇත්තේ ලොකු හිලක් උඩ බවත් පැවසිණි.

ටින්කර් බාස්ට අනුව මා අළුතින් පුරව පුරවා සිටි ක්ලච්ඔයිල් සියල්ලම ඉස්සරහ තට්ටුව තුලට ලීක් වී තිබේ.


 ඒ බව සොයා ගැනුණේ  ටින්කරින් කිරීමට ඉස්සරහා  බොනට්ටුව අසල  dash board එක ගැලවීමත් සමගයි.


 මගේ දෙවැනි සහ අවසාන ශ්‍රී ලංකා වාහනය  ඊලඟ කොටසින් 







Wednesday, 9 November 2016

පශු ගෙවිළිය සහ ඇගේ යෙහෙළිය



අප මුලින්ම  අපේ ගමේ නිවසක් සාදවා දුන්නේ  2014 අගෝස්තුවේ අපට හමුවූ  ඇලෙක්ස් සහ ඔහුගේ බිරිඳ කළුට.

දැන් ඇලෙක්ස්ලාට  හරි ජයයි.

ඇලෙක්ස්  මගේ හිතවතෙක් වූ කමල් සසරසිංහ ළඟ  උප කොන්ත්‍රාත් කරුවෙක් ලෙස වැඩ කරද්දී කළු කුඩා ව්‍යවසායිකාවක් ලෙස තමන්ගේම රැකියාවක් කරනවා.

ඇය ලුණු දෙහි,  පොල් සම්බල්, මුරුකු , ටේස්ට් කඩල ආදිය පැකට් කර කඩවල් වලට දමනවා.



ඇලෙක්ස් තම යහළු ගොවියෙකු වූ රංජිත් රාජපක්ෂ අපට හඳුන්වා දීමත් සමග අපේ හතරවන නිවාස ව්‍යාපෘතිය ආරම්භ වුනා. ඒ අතරමග ඇනහිට තිබු රන්ජිගේ ගෙදර වැඩ ඉවර කරදීම.

එය මේ දිනවල බිත්ති කපරාරුව දක්වා ඇවිත් තියෙන්නේ.



මේ අතර කළු මට ඉමෝ හරහා දුරකථන ඇමතුමක් දුන්නා.

"හලෝ දොස්තර මහත්තයා කොහොමද ? "

"හොඳින් ඉන්නවා කළු . මොකද ඔය පැත්තේ වෙන්නේ ? "

"මම මේ ලඟදි අපේ සමිතියේ ( මෙයින් කළු අදහස් කලේ කුඩා ව්‍යවසායිකවන්ගේ රැස්වීමකි )  වැඩකට ගියා"

"ඉතින් ? "

"මාව යෝගට් හදන්නයි කේක් හදන්නයි පුරුදු කරන්න තෝරා ගත්තා කිව්වා. "

"ෂා නියමයිනේ  . දිගටම කරගෙන ගියොත් ලොකු බිස්නස් කාරයෙක් වෙන්න පුළුවන් "

"ඒක නෙවෙයි ඩොක්ටර් . එතැනදී මට හම්බවුණා නේ නියම කෙල්ලෙක් "


"ඒ කිව්වේ කළු ? "

" නෑ අපේ ගමේම එහා පැත්තේ ඉන්න කෙනෙක් .

එයත් අපේ රැස්වීම් වලට එනවා. එයා හරක් හත් දෙනෙක් හදනවලු එයාගේ ස්වයං රැකියාව විදිහට .

තවම යන්තම් අවුරුදු විසිපහක් විතර වෙන්නේ .

හරි කඩිසර කෙල්ලෙක් .

හරක් හැදුවට තවම ගාල හරියට හදා ගන්න බැරිවුණා කියලා කිව්වා .









පුළුවන් නම් දොස්තර මහත්තයට කියලා ගාලේ බිත්ති බැඳ ගන්න උදව්වක් ආර දෙන්නේ කියලා කිව්වා. "

"මොකක්ද එයාගේ නම ? මහත්තයා මොනවද කරන්නේ ?  ළමයි කී දෙනෙක් ඉන්නවද ? "

මම මගේ මූලික ප්‍රශ්න වැල කළුට ඉදිරිපත් කළා .

"අපි නම් කියන්නේ දිළි කියලා.

දිලීට එක දුවෙක් ඉන්නවා මොන්ටිසෝරි යන,  මහත්තයා ඉස්සර නම් වන සංරක්ෂණ එකේ වැඩ කළා.

 දැන් දිලිගේ හරක් ටිකට වල් කපන්න එහෙම උදව් කරගෙන ඉන්නවා මන් හිතන්නේ .

මේ අනුව කළු මගෙන් ඉල්ලා සිටින්නේ තම යෙහෙළිය වූ දිලී ගේ කුඩා ව්‍යවසාය වැඩේට අත්වැලක් සපයා දෙන ලෙස බව මම තේරුම් ගත්තා.

"හරි හරි කළු එහෙමනම් දිලී ව වෙලාවක මට ඉමෝ වලින් කතා කරන්න සම්බන්ධ කරන්නකෝ.

මම මොකක් හරි කරලා දෙන්න බලන්නම්.

අනතුරුව දිලිගේ පවුලේ විස්තර දැන ගත් මම කළු ලබා දුන් හරක් හත්දෙනාගේ පිංතුර ද ලබා ගත්තා .



තවම රන්ජිගේ නිවසේ වැඩ අවසන් නැහැ. ඒත් දීලිට සහ ඇගේ පවුලට රැකියාව හොඳින් කරගෙන යන්නට උදව් කල යුතුයි කියා සිතුණා.

ඒ අනුව අපේ හිතවතුන් ගෙන් මේ සඳහා දායක වන්නට කැමති අය සම්බන්ධ කරගන්න හිතුවා.

වැසි වාරය එන්න පෙර අපි දිලී ලාට උදව් කරමු .

මෙන්න බැංකු විස්තර 


ACC NAME : K M K K Kulasekara

BANK : BANK OF CEYLON

BRANCH: PERADENIYA CITY Branch 

ACC NUMBER: 0001288108

for overseas transfers:

Account No: 1288108

Bank Code: 7010

Branch code: 588 ( Peradeniya City Branch )


මුදල් තැන්පත් කල පසු මට මුහුණු පොතේ හෝ බ්ලොග් පොස්ටුවේ පණිවිඩයක් තබන්න.



Monday, 7 November 2016

මාතේ ළමෝ


සිසිර සේනාරත්න ගයන ජනප්‍රිය ගීයක මුල්ම වචන පෙළ කියවෙන්නේ "පිදුරුෙ සෙවි කල පැල්පතේ ඇති" යනුවෙන් .

මට මේ ගීතය මුලින්ම ඇසුණේ  ගුවන්පා විදුලියෙන් නොව පාසැල්  සමයේ අරලගංවිල නගරයේදී සිටිද්දී .

ගායකයා  කළු කෙසඟ සිරුරක් ඇති යාචකයෙක් . දවසක් මේ යාචක තෙමේ හතරේ  පංතියේ ළමුන් ලෙස චමින්ද මම ඇතුළු  අපේ කල්ලිය ඉන්නා  බසයට ගොඩවුණා.

අහිංසක ලෙස දකුණු කම්මුල මත තම අත්ල තබා ගත් ඔහු ගීතයක් ගයන්නට පටන් ගත්තා .

"පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ

මහා පාරේ ගෙවී යයි මේ මාගේ අහිංසක ජිවිතේ."


අද අරලගංවිල නගරයේදී කුඩා කල අප දුටු යාචකයින් පිළිබඳව කතා කල යුතු යැයි සිතුණා.

මේ කාලයේදීම  අප ගමන් කල පාසැල් බස් වලටත්  බසය එනතෙක් අප රැඳී සිටි බස් නැවතුම්පොලටත්  එන තවත් හිඟන්නෙක් සිටියා.




 ඒඅවුරුදු හැත්තෑවක් -අසුවක් පමණ වූ සීයා කෙනෙක් .

 ඒ සියා හිඟමනේ එන්නේ  වකුටු කොට ගත් තම දකුණත බසයේ සිටින මිනිසුන්ට දිගු කරනා අතරේ

' මාතේලාමො... නෝනා මාතේලා මො."

කියමින්.

මා සිතනා පරිදි ඒ සියා ඉන් අදහස් කලේ

"මහත්තයලා මොකුත් දෙන්න .. නෝනා මහත්තයලා මොකුත් දෙන්න යන්න විය යුතුයි.

ඒ කාලේ තනි තනි යාචකයින් වගේම යාචක පවුල් කිහිපයක් ද අපේ නගරයේ ජිවත් වුණා .

එවන් එක්  පවුලක අම්මා තාත්තා සහ අය්යලා දෙන්නෙක් හිටියා .

ඒ අය්යලා දෙන්නා පසුකලෙක අරලගන්විල නගරයේ ස්වීප් ටිකට් විකුණුවා මට මතකයි.

ඒ දිනවලම ඒ පවුලට තවත් කුඩා ගැහැණු දැරිවියක් එකතු වී සිටියා . මේ අය ජිවත් වුණේ අරලගන්විල  සිංහගිරි හෝටලයට යාබදව මහා පාර අයිනෙමයි.

අපි ගමට එන්නට 320 බසයක් වෙත යායුතු වන්නේ මේ යාචක පවුල පසු කරමින්.

අප හතරේ -පහේ සිටි ඒ කාලයේ අපේ බාලම නංගි නිම්මි අවුරුදු තුනක පමණ සිඟිති දැරිවියක්

ඇයට ගෙදරට කියන නම ලෙස අපේ අම්මා සහ අක්කලා යෝජනා කර තිබුණේ "සිඟිති " කියන නමයි.

අම්මා  අක්කා සහ මම දවසක්  මේ යාචක පවුල පසු කර ගමන් කරමින් සිටියා .

එක් වරම සිඟිති , සිඟිති කියමින් යමෙකු හුරතල් කරන හඬක් ඒ යාචක පවුල දෙසින් ඇසුණා.

ඒ අය්යලා සහ අම්මා එකතු වී සිගිති යැයි කියමින් සුරතල් කලේ ඔවුන්ගේ පවුලට අළුතින් එකතු වී සිටි සාමාජිකවයි.

එය ඇසුණු අපේ අම්මා හොඳටම කලබල වූ බවක් පෙනුණා .

"දැක්කද ඒ හිඟන කෙල්ලට කතා කරන්නේ සිඟිති කියලා .

අපි අදම පොඩි නංගිගේ නම වෙනස් කරන්න ඕනේ.



එදා ගෙදර පැමිණි පසු පොඩි නංගිට ගෙදරට තැබිය යුතු අලුත් නම් කිහිපයක්ම සාකච්චාවට  ගැනුණා.

ඒ වෙලාවේ පල්ලැහැ ගෙදර මැණිකෙත් අපේ ගෙදර ඇවිත් හිටියා මතකයි.

"බලපන්කො මැණිකේ අර සිංහගිරිය ළඟ ඉන්න හිඟන පවුලේ අලුත උපන් කෙල්ලට දාලා තියෙන්නෙත් සිඟිති කියලානේ .

අපි සිඟිතිට අළුත් නමක් තියන්න ඕනේ.

ඒ අනුව අපේ අක්කා , මම මෙන්ම පල්ලැහැ ගෙදර මැණිකෙත් අපේ සිඟිතිට කිවයුතු අලුත් නම් යෝජනා කළා .

ඒ  යෝජනා අතර වූ එක් යෝජනාවක් වුයේ පල්ලැහැ ගෙදර මැණිකේ ( ජේන් අක්කගේ දුව) ගෙනා  නිම්මි කියන නමයි.

නැන්දා අපි පොඩි නංගිට නිම්මි කියලයි ලොකු නංගිට දම්මි කියලයි දාමු.

අර සිත්තර පත්තරේ "හිතට වහල් වීම " කියන කතාවේ ඉන්න කෙල්ලෝ  දෙන්නගේ නම් දෙක වගේ.

ඒ අනුව සිඟිති යන නම වෙනුවට අපේ පොඩි නංගි නිම්මි ලෙස හඳුන්වන්නට පටන් ගැනුණා.

අදටත් අපේ ගමේ බොහෝ දෙනෙක් ඈ අමතන්නේ ඒ නමින්.

සිඟන කෙල්ලකට "සිඟිති " යැයි කියූ නිසා අපේ නංගිට  තබා තිබු සිඟිති යන නම  නිම්මි ලෙස වෙනස් වුණේ අන්න ඒ ආකාරයටයි.